පහළ යන රුපියල

       ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ යමින් තිබේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරයේ විකුණුම් මිල  රු.164 සීමාව ඉක්මවා ගොස් තිබේ. මහා බැංකු වාර්තාවනට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු.161 ක් වන අතර විකුණුම් මිල රු.164ක් වශයෙන් සටහන්ව ඇත.
      මෙසේ රුපියල අවප්‍රමාණය වීම හේතුකරණ කොට ගෙන ජීවන වියදම ඉහළ යාමත් සමග උද්ධමනය ඇසි පිය හෙළන පමාවෙන් ඉහළ යමින් තිබේ. මේ වන විට උද්ධමනය 8% දක්වා ඉහළ නැග ඇත්තේ ආණ්ඩුවේ සිහින හිරු දුටු පිනි බිදක මෙන් වියැකි යන පරිද්දෙනි.
      රටේ ආර්ථික අස්ථාවරභාවය හේතුවෙන් විදේශ ආයෝජකයන්ගේ පැමිණීම දුර්වල වී තිබේ. රුපියල පහළ වැටීමෙන් කර්මාන්ත නිශ්පාදන මිල ද ඉහළ යනු ඇති. මෙනිසා ඇති වන උද්ධමනයේ අවාසිය වන්නේ ලංකාවේ ණය කන්දේ වටිනාකම ඉහළ යෑමයි. මෙය මා ඔබ මුහුණ දෙන විශාලත ම ගැටළුවකි.
    සීතල කාමර වල ලැගුම් ගන්නා ඈයන් ට මෙය තවමත් එතරම් ගැටලුවක් නොවන අතර මහ පොළොවේ පය ගසා ජීවත් වන්නට වෙර වීරිය දරන අපේ වංශයේ බහුතරයකට මේ ජීවන අරගලය මහාලොකුවට ම දැනේ. ජනතාවගේ සාමාන්‍ය ජීවන මට්ටම පහළට ඇද වැටෙන තත්වයක නියාව පෙන්නුම් කෙරෙන්නේ උදේ සවස කන වැකෙන ගුවන්විදුලි,රූපවාහිනි ප්‍රවෘත්තීන් සමගයි.
     රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට පියවර කිහිපයක් ගෙන තිබුණ ද එය මෙකී ගැටලුව ට ස්ථීරසාර හා ශක්තිමත් විසදුමක් වූයේ නැත. මෙසේ පහළ යන රුපියල ශක්තිමත් කිරීම සදහා දිගුකාලීන සැලැස්මකට ක්‍රියාත්මක විය යුතු ය. එය වනාහි එකිනෙකාගේ මඩිය තර කර ගන්නා සැලැස්මක් නොවිය යුතු ය. රාත්‍රිය එලිවීමට පෙර බස් ගාස්තු හෝ ඉන්ධන මිල වැඩි කිරීම මේ සදහා පිළියමක් නොවේ. ඔලුවේ අමාරුවට කොට්ට මාරු කිරීම යල්පැන ගොස් ඇත.
      මේ සදහා විදේශ විනිමය වර්ධනය කර ගැනීමට අවශ්‍ය ය. ඒ සදහා නියත ආනයන සීමාවක් පනවා අපනයන වර්ධනය කර ගත යුතු ය. විදේශ ආයෝජන වැඩි කර ගැනීමේ සැලැස්මක් නිර්මාණය කර ගත යුතු ය. විදේශ විනිමය එකතු කර ගැනීමට ස්ථාවර ක්‍රියාමාර්ගයක් සැකසිය යුතු ය.
  කිසිදු විචාරශීලි මනසකින් තොරව පසුගිය කාලයේ සිදු වූ වැටුප් වැඩි වීම්,ආනයන ඉහළ නැංවීම් තුළින් රටේ මුදල් විශාල ලෙසින් විදේශ රට වලට ගලා ගිය අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මුනිවත රැක්කේ කිසිවක් නොදන්නා ලෙසිනි.
      රුපියලේ අගය පහළ වැටීමට තිත තැබීමට නොහැකි වුවත් එය පාලනය කිරීමට දායක වීමට මහ ජනතාව වශයෙන් අප වෙත යුතුකමක් මෙන්ම වගකීමක් පැවරී ඇත. තාවකාලික පැලස්තර ඇලවීම තුළින් රුපියල පහළ වැටීම පාලනය කිරීමට යෑම අසාර්ථක පියවරක් බව අවසනයේ කිව යුතුව ඇත.

19/11/2018

-නවෝද්‍යා ගමගේ-

Comments

Post a Comment

Popular Posts