අපදා කළමණාකරණය හා සන්නිවේදනය
1980 වසර පෙර පැවති කඩිනම් සංවර්ධන ක්‍රියාවලියත් සමඟම පර්යේෂණ හා සංවර්ධන (R & D) කාර්යයන් හා දියුණු තාක්‍ෂණික උපදේශකත්වය හා පරීක්ෂණ ‍සේවා ලබා දීමේ අවශ්‍යතාවය ඇති විය. රාජ්‍ය සේවා සපයන ආයතනවල ඇති දැඩි නීතිමය තත්වයන් ඉල්ලා සිටින ප්‍රමිතියෙන් හා කඩිනමින් එවැනි සේවා ලබා දීමට හැකියාවක් ඇති නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි කර්තව්‍යයන් ගාස්තු ගෙවා කඩිනමින් හා ගුණාත්මක සේවා ලබා දෙන නව ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඇති විය.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුව වත්මන් ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිශ්‍රය තුල පර්යේෂණ සඳහා වූ සයිට් 66 නමින් ගොඩනැගිලි ද්‍රව්‍ය අත්හදා බැලීමට අදාළව පහසුකම් ප්‍රමාණයක් පමණක් තිබූ රසායනාගාරයක් එකල පැවතිනි. පසුකාලීනව එනම් 1976-78 සමයේ දී මෙම රසායනාගාරය ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (BRI) බවට දිවංගත ආචාර්ය. ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ මැදිහත්වීම මත පත් කෙරිනි. ආචාර්ය. කල්යන් රේ ගේ උපදේශකත්වය යටතේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සතුව කොළඹ කොටුවේ පාංශු පිරික්සුම් රසායනාගාරයක් තිබුනි. එහි තිබූ අත්හදා බැලී‍මේ උපකරණ 1983 වසරේ දී නව ආයතනයක් පිහිටුවීම සඳහා BRI වෙත ගෙන එනු ලැබිනි. ඊට සුළු කාලයකට පසුව, ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) 1984 මාර්තු 5 වන දින සිට වෙනම ආයතනයක් ලෙස ස්ථාපිත කෙරිනි.
ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආරම්භයේ දී පිහිටුවනු ලැබුවේ ප්‍රතිපත්ති සම්පාදන හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේය. ගත වූ වසර 32 ක කාලය තුල එය රේඛීය අමාත්‍යාංශයක සිට අමාත්‍යාංශ ගණනාවක විෂය පථය බවට වරින් වර පත් විය. මෙමගින් ජා.ගො.ප.සං හට තම ගමන්මග නිතර නිතර වෙනස් කරමින් විවිධ විෂයයන්ට යොමු වීමටත් ආයතනික කාර්යසාධනය වෙනත් දිශාවකට යොමු කිරීමට බලපානු ලැබිනි. අමාත්‍යාංශ වෙනස්කම් මගින් ඇති කළ ගැටළුකාරී තත්වයට අමතරව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට එල්ල වූ අභියෝග වාසියට හරවා ගනිමින් රටේ වැදගත් ජාතික සංවර්ධන ව්‍යාපෘතිවලට අවතීර්ණ විය. එමගින් නව තාක්ෂණයන් ලඟා කර ගැනීමටත් තම විෂය පථය පුළුල් කර ගනිමින් වෙනස්කම් සඳහා ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට ඇති සුවිශේෂ අනුවර්තනීය හැකියාවන් පෙන්නුම් කෙරිනි.
ගත වූ 32 වසරක කාලය තුල, ශ්‍රී ලංකාවේ අංග සම්පූර්ණ පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් හා ප්‍රසිද්ධ තාක්ෂණ ‍සේවා සපයන්නෙකු ලෙස ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තම ධාරිතාවයන් පුළුල් කර ගෙන ඇත. භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව, නායයාම් පිළිබඳ අධ්‍යයනය, ව්‍යාපෘති කළමනාකරණය, මානව ජනවාස සැළසුම්කරණය, ජල ප්‍රමිති සුපරීක්ෂණය, වායු ප්‍රමිති නිරීක්ෂණය, ‍ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණ හා අත්හදා බැලීම් වැනි විවිධාකාර වූ ක්ෂේත්‍රවල සුවිශේෂීතාවයන් ඇති ආයතනයක් බවට ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පත් වී ඇත. 1985 දී ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් සම්බන්ධිත අධ්‍යයන හා සේවා සඳහා බලයලත් ආයතනයක් ලෙස බිහි කළද, ජා.ගො.ප.සං. ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුලට සක්‍රිය ලෙස මැදිහත්වීමේ අවශ්‍යතාවය පැන නැගුනි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 1986 වසරේ සිට නායයාම් අවදානම් පරීක්ෂා කර තක්සේරු කිරීම් කර ඇති අතර 1992 වසරේ සිට නායයාම් උවදුරු කලාප සිතියම් කිරීමේ ව්‍යාපෘතිය දියත් කර ඇත. තවද, ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම් සැළසුම් සකස් කිරීමටත් 1984 හා 1992 වසරවල ආපදා කළමනාකරණ සම්බන්ධිත සමුළු සංවිධානය කිරීමටත් භූමි ගිලා බැසීමේ සිදුවීම් අධ්‍යයනය කිරීමටත් හා නායයාම් අවම කිරීමේ ව්‍යාපෘති දියත් කිරීමටත් පියවර ගෙන ඇත. මෙම තත්වයන් සැලකිල්ලට ගෙන, 2007 වසරේ දී ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ විෂය පථයට ගෙන ඇත.

ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වර්තමාන තත්වය
මූලාරම්භ‍යේ සිට ස්වයං වර්ධනයේ වසර 32 ක ඉතිහාසයකට පසුව හා එය වෙත පැවරුණු ජාතික වගකීම් හා යුතුකම්වලින් අනතුරුව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද වන විට ‍රටේ ප්‍රධාන පෙලේ ආයතනයක් බවට පත් ව ඇත. නායයාම් අවදානම් කළමනාකරණය, පර්යේෂණ හා සංවර්ධන සහ තාක්ෂණ උපදේශන සැපයීම සහ පරීක්‍ෂණ සේවා සිදු කිරීම වැනි එහි කාර්යයන් සඳහා නමක් දිනා ගෙන ඇත. එහි සුවිශේෂී කාර්යසාධනය පෙන්නුම් කරමින්, ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රටේ මූල්‍යමය ලෙස ස්ථාවරයක් ඇති ඉතාමත් ප්‍රමුඛ පෙලේ රාජ්‍ය ආයතනයක් බවට පත් වී ඇත.
ඉංජිනේරු විද්‍යාව, භූ තාක්ෂණ විද්‍යාව, විද්‍යා, ගෘහ නිර්මාණ ශිල්පය සහ නගර සැළසුම්කරණය වැනි විවිධ ක්ෂේත්‍රවලට අයත් උපාධිධාරීන් 138 ඇතුළු 350 කට වැඩි කාර්ය මණ්ඩලයක් ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතුව මේ වන විට ඇත. ප්‍රධාන කාර්යාලය හා රටේ නායයාම් අවදානම් සහිත දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති එහි දිස්ත්‍රික් කාර්යාල 10 මගින් නායයාම් අවදානම් කළමනාකරණ සේවා සපයයි. තාක්ෂණ අංශ මගින් පර්යේෂණ සිදු කරමින් සංවර්ධන කටයුතු සිදු කරයි. තම නවීන රසායනාගාර පහසුකම් හා අධි තාක්‍ෂණික ක්ෂේත්‍ර උපකරණ යොදා ගෙන සක්‍රීය තාක්ෂණික උපදේශන ලබා දීමත් පරීක්ෂණ සේවා සැපයීම සිදු කෙරේ.
ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යනු ශ්‍රී ලංකාවේ නායයාම් අවදානම් කළමනාකරණයේ ජාතික මධ්‍යස්ථානය බවට පත් ව ඇත. ඒ වෙත පැවරී ඇති වගකීම්වලට අනුව නායයාම් වලට අදාළ අධ්‍යයන, පරික්ෂා, ආපදා කළාප සිතියම්ගත කිරීම, නිරීක්ෂණය, පූර්ව අවවාද ලබා දීම හා අවම කිරීමේ කාර්යයන් කිරීමට අමතරව, ගොඩනැගිලි බලපත්‍ර හා සංවර්ධන සැළසුම් අනුමත කිරීමට අවශ්‍ය කරන පූර්ව අවශ්‍යතාවයක් ලෙස නායයාම් ආපදා තක්සේරු වාර්තා නිකුත් කිරීමේ සේවය ලබා දේ.
පාරිසරික කළමනාකරණය, මානව ජනාවාස සැළසුම්කරණය, ඉංජිනේරුමය ව්‍යාපෘති කළමනාකරණය, භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තාක්‍ෂණ විද්‍යාව වැනි පුළුල් පරාසයක් කරා විහිදී යන දැනුම් ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දේ.
තවද, රාජ්‍ය හා පුද්ගලික අංශයට උපදේශන හා පරීක්‍ෂණ සේවා ලබා දීම් මගින් ස්වයං ආදායම් කෙරෙහි ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යොමුවී ඇත.
ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි කාර්ය භාරයන්
ආපදා අවදානම් අවමකරණය හා සුරක්ෂිත පරිසරයක් සැකසීමට අදාළව පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල නියැලීම
නායයාම් හා භූ තාක්ෂණ උවදුරු සඳහා ජාතික කේන්‍ද්‍රීය මධ්‍යස්ථානය ලෙස වූ කාර්යභාරය ඉටු කිරීම
පර්යේෂණ සිදු කිරීම හා සැළසුම්කරණය, ආපදා අවදානමට ලක් වූ හා විවිධ කාලගුණික වෙනස්කම් නිසා අනතුරට පාත්‍ර ව ඇති ප්‍රදේශවල තිරසාර නිවාස හා ආරක්ෂික මානව ජනාවාස ඉදිකිරීම පිළිබඳව මාර්ගෝපදේශ ලබාදීම
තාක්ෂණිකව ගැටළුකාරී වී ඇති පස් සහිත ප්‍රදේශ භාවිතා කිරීම පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම
ගොඩනැගිලි ද්‍රව්‍ය, නිෂ්පාදන හා තාක්ෂණයන්වල විකල්ප ප්‍රභව වැඩිදියුණු කිරීම
ගොඩනැගිලි හා ඉඳිකිරීම්, හානි තක්සේරුව හා තාක්ෂණික සේවා පිළිබඳව ප්‍රමිති වාර්තා නිකුත් කිරීම
විශේෂිත සම්පත් දායකයන් විසින් තොරතුරු, අධ්‍යාපනික වැඩසටහන්, පුහුණු කිරීම් හා තාක්ෂණික සේවාවල ලබා දී‍ම
පරීක්‍ෂා කටයුතු සිදු කිරීම, උපදේශන ලබාදීම්, භූ ගර්භ විද්‍යාව, භු තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව, ගොඩනැගිලි ද්‍රව්‍ය, ව්‍යුහාත්මත ඉංජිනේරු විද්‍යාව හා ගොඩනැගිලි සේවා, ව්‍යාපෘති කළමනාකරණය, පාරිසරික කළමනාකරණය, මානව වාසස්ථාන සැළසුම්කරණය සහ සංවිධානයේ අරමුණු සාක්ෂාත් කිරීමට අදාළ ක්ෂේත්‍ර පිළිබඳව පර්යේෂණ ව්‍යාපෘති සිදු කිරීම
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් හා සම්බන්ධිත අන්තර්කාලීන කළමනාකරණ කමිටුව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කටයුතු පාලනය හා මඟපෙන්විම සිදු කෙරේ. ආයතනික සැළසුම් හා ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වාර්ෂික ක්‍රියාකාරී සැළසුම් කාර්යසාධන මාර්ගෝපදේශ ලෙස වාර්ෂිකව සකස් කෙරේ. ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තා ආයතනික සාධනයන් ඇතුළත් කරමින් අදාළ බලධාරීන් වෙත ‍ඉදිරිපත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වර්තමාන තත්වය
ජාතිය සඳහා ආපදාවලින් තොර පරිසරයක් සකස් කිරීමට කැප වූ විවිධ ශික්ෂණයන් නියෝජනය කරණ විශේෂඥයන් පිරිසක් එක් වී ඇති සාර්ථක තාක්ෂණ සේවා සපයන්නෙක් සහ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් ලෙස 1984 දී ස්ථාපිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වර්ධන වී ඇත. පරිසර විද්‍යාව, නායයාම සහ ඒ ආශ්‍රිත භූ විද්‍යාත්මක උවදුරු, මානව ජනාවාසකරණ සැලසුම්කරණය, ඉංජිනේරුමය ව්‍යාපෘති කළමනාකරණය, භූ තාක්ෂණික ඉංජිනේරු ශිල්පය සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ඉංජිනේරු ශිල්පය වැනි ඉතා පුළුල් පරාසයක ශික්ෂණයන් ආවරණය කරන විශේෂඥතා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතුය. අවුරුදු ගණනාවක් තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිපුණතා පූර්ණ පර්යේෂණ ආයතනයක් ලෙස තම ධාරිතාව දියුණු කරගෙන ඇත. වර්තමානයෙහි එය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පර්යේෂණ හස්ථය ලෙස කටයුතු කරයි. තම ජීවන පරිසරය තුළ ජාතිය මුහුණ පාන විවිධාකාර ගැටළු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හඳුනාගෙන ඇත. උසස් ජීවන මට්ටමක් වර්ධනය කිරීමට අවශ්‍ය විසඳුම් සොයා ගැනීමට මෙම සංවිධානය සැදී පැහැදී සිටියි.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවරුමට සරිලන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අරමුණු සංශෝධනය කර ඇත. උවදුරු අවදානම අඩු කිරීම යන ප්‍රධාන අරමුණ කෙරෙහි යොමු වී සියළු කටයුතු නැවත ප්‍රතිසැලසුමකට භාජන කර ඇත. ස්වයං ඉපයීම මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බෙහෙවින් රදා සිටින අතර, එම ආයතනයේ මුල්‍ය ආදායම් බොහෝමයක් රජය හා පෞද්ගලික අංශය වෙත පිරිනමන උපදේශන සහ පරීක්ෂණ සේවාවන්ගෙන් ලබාගනී.


නායයාම් අධ්‍යයන සහ සේවා අංශය
මෙරට කඳුකර ප්‍රදේශවල නායයාම සහ ඒ ආශ්‍රිත භූ විද්‍යාත්මක උපද්‍රව අධ්‍යයනය කොට, නායයෑමේ උපද්‍රව දීර්ඝකාලීන හා කෙටි කාලීන වශයෙන් කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයන් ස්ථාපනය කිරීම නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් ඉටු කරනු ලැබේ. භූ විද්‍යාව, භූ තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව, භූ ගෝල විද්‍යාව සහ පරිගණක විද්‍යාව යන ක්ෂේත්‍රයන් හී විශේෂඥයන් විශාල පිරිසකින් මෙම අංශය සමන්විත වෙයි.
ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණ හා පරීක්‍ෂණ අංශය (BMRTD)
ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණ හා අත්හදා බැලීමේ අංශයේ විද්‍යාගාරය යනු ගොඩනැගිලි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති පැරණිතම විද්‍යාගාරවලින් එකකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ හා පිළිගත් රසායනාගාරවලින් එකක් ලෙසට පත්වෙමින් එහි සේවාවන් අද වන විට සැළකිය යුතු ලෙස ව්‍යාප්ත කර ඇත. රසායනාගාර සාම්පල භෞතික ව හා තාක්ෂණිකව පරීක්ෂා කිරීම, ගොඩනැගිලි පිරික්සුම, දැනුම්වත් කිරීම හා පුහුණු වැඩසටහන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන ඇතුළු සේවාවන් ලබා දෙනු ලැබේ.
විශ්වාසදායී නිවැරදි හා කාර්යක්ෂම සේවාවන් සේවාලාභීන්ට ලබා දීම පිළිබඳව විද්‍යාගාරය ඉතාමත් ජනප්‍රිය බවට පත් ව ඇත. කොන්ක්‍රීට් ඝනකවල ශක්තිය බිදීමේ කාර්මික පරීක්ෂණ සහ වැරගැන්වුම් කම්බි පිළිබඳව ආතන්‍ය පරීක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් ද අපව අනුමත කර ඇත. පුළුල් කිරීමක් ලෙස, නව පරීක්‍ෂණ සේවා හා කාර්යාල පහසුකම් දැනට ඇති විද්‍යාගාරය ට ආසන්නව ඇති කෙරෙනු ඇත.
විද්‍යාගාරය තුල ඉහළ සුදුසුකම්ලත් හා පළපුරුදුකම් සහිත වෘත්තීමය ඉංජිනේරුවරුන් සහ පුහුණු තාක්ෂණවේදීන් සේවය කෙරේ. පරීක්ෂණ ප්‍රතිඵලවලින් උසස් කාර්යසාධන වාර්තා පිහිටුවීමට අප සමත් වි ඇති අතර මනා පුහුණුවකින් යුත් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය මගින් පරීක්ෂණ ක්‍රියාවිධි හා පරීක්ෂණ ප්‍රතිඵලවලට අදාළ සේවාදායක ගැටළු පැහැදිලි කර දීමේ හැකියාව ඇත.
පාරිසරික අධ්‍යයන හා සේවා අංශය (ESSD)
ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්‍ෂණික අංශය ලෙස වසර 1986 පිහිටුවනු ලැබූ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය මගින් තිරසාර සංවර්ධනය හා පාරිසරික කළමනාකරණයට අවශ්‍ය තාක්‍ෂණික හා විද්‍යාත්මක යෙදවුම් සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමයන්ට එක් කිරීම සිදු කෙරේ. ගත වූ වසර ගණනාවක් තුල මෙම අංශය තම ධාරිතාවයන් පාරිසරික ක්ෂේත්‍ර ගණනාවක් තුල විහිදුවමින් උපදේශන සහ පරිසර‍යේ විවිධාකාර වූ ක්ෂේත්‍රයන්හි පරීක්‍ෂණ සේවා සපයන ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ඉදිරිගාමී තාක්‍ෂණික ආයතනය බවට පත් වී ඇත. කර්මාන්ත, සංවර්ධකයන් සහ රාජ්‍ය ව්‍යාපෘතිවලට අවශ්‍ය නෛතික බැදීම් ඉටු කිරීමට අවශ්‍ය කරන හා පාරිසරික රෙගුලාසිවලට අනුකූල වන විවිධ පාරිසරික නිරික්ෂණ සහ උපදේශන සේවාවන් වර්තමානය වන විට ESSD සපයමින් සිටි. ස්ථානීය පරීක්ෂාව, නියැදි ලබා ගැනීම හා විමර්ශනය, නිරීක්ෂණය, අර්ථදැක්වීම් හා උපදේශනය සහ විවිධ වූ පාරිසරික තත්වයන් පර්යේෂණ හා සංවර්ධන ඇතුළුව දිවයින පුරා ආවරනය කරමින් ESSD විශේෂඥ කණ්ඩායම සේවා සලසයි.
භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යා අංශය (GED)
භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යා අංශය (GED) දේශීය අවශ්‍යතාවලට සෘජුව අදාළ වන පර්යේෂණ සහ පාංශු තාක්ෂණ, ඉංජිනේරු භු ගර්භ විද්‍යාව, අත්තිවාරම් සැළසුම්, නායයාම් අවම කිරීම් හා පර්යේෂණ යන ක්ෂේත්‍රවලදී උපදේශන ලබා දේ.  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භූ තාක්ෂණික සේවා ලබා දීම ද GED සිදු කරයි. වැඩිදුර පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කිරීමට අවශ්‍ය වන ක්ෂේත්‍ර ඉදිකිරීම් කර්මාන්තයට එවැනි සේවා ලබා දීමේ ක්‍රියාදාමයේ දී සෑම විටම හදුනා ගැනේ.
භූ තාක්ෂණීක සේවා සපයන ප්‍රධාන‍ පෙලේ ආයතනයක් ලෙස, වසර 30 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිවල අවශ්‍ය සේවාවන් සඳහා අප මෙතෙක් දායක වී ඇත. භූ තාක්ෂණික ඉංජිනේරුවරු, ඉංජිනේරු භු තාක්ෂණවේදීන්, විද්‍යාඥයන්, විදුම් අධීක්ෂකවරු, විදුම් ක්‍රියාකරුවන්, විදුම් කරුවන් හා පුහුණු අත්උදව්කරුවන් වැනි පළපුරුද්දෙන් අනූන පිරිසක් අප අතර ඇත. එමෙන්ම, භූ තාක්ෂණික සහ භූ භෞතික පර්යේෂණ සහ දේශීය හා විදේශීයව සිදු කරන විමර්ශන කටයුතුවලට අවශ්‍ය නවීන හා දියුණුතම උපකරණ එය සතුව ඇත.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පාංශු පරීක්ෂා කිරීමේ විද්‍යාගාර පහසුකම් ද GED සතුව තිබෙන අතර පරීක්ෂා කිරීම් සිදු කිරීමට අවශ්‍ය කරන අභ්‍යන්තරික ප්‍රවීන විද්වත් මණ්ඩලයකින් ද සමන්විතය.
පහත දැක්වෙන ව්‍යාපෘති මගින් අප පිළිබඳව කෙටි අවබෝධයක් ඇති කර ගැනීමට ඔබට හැකි වනු ඇත.
මානව වාසස්ථාන සැළසුම් කිරීමේ හා පුහුණු කිරීමේ අංශය (HSPTD)
ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) මානව ජනාවාස සැළසුම් කිරීමේ හා පුහුණු කිරීමේ අංශය (HSPTD) සමාජ ආර්ථික අවශ්‍යතා සහ ජනාවාස ක්‍ෂේත්‍රයේ භෞතික සැළසුම් කටයුතුවලදී ආපදාවලට ලක් වූ ප්‍ර‍දේශ හා ගැටළුකාරී ප්‍ර‍දේශ කෙරේ විශේෂ අවධානයක් සහිතව කටයුතු කෙරේ.
මානව ජනාවාස සැළසුම් අංශය අඩු ආදායම් නිවාස ව්‍යාපෘති සැළසුම් කිරීමේ, සමාජ පරිසර බලපෑම් තක්සේරුව, ප්‍රදේශයේ ආපදා අවදානම අඩුකිරීම, උවදුරු ඔරොත්තු දෙන නිවාස තැනීම, නැවත පදිංචි කිරීම සහ ස්වභාවික ආපදාවලට සම්බන්ධිත පුනරුත්ථාපනය, විවිධ වර්ගවල උවදුරු සිතියම්කරණ තාක්ෂණය, ඩ්‍රෝන යොදාගත් භූ අවකාශ සිතියම්කරණය, දේශගුනික විපර්යාස අධ්‍යයන, පුහුණුව සහ දැනුවත් කිරීමේ වැඩසටහන් යනාදියේ දී වෘත්තිමය ධාරිතාවයන් දියුණු කර ගෙන ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන ද මානව වාසස්ථාන හා පුහුණු කිරීමේ අංශය මගින් සම්බන්ධීකරණය කෙරේ.
ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනා ගෙන ඇති නායයාම් අවදානම් දිස්ත්‍රික්ක වෙනුවෙන් මෑතකදී දියත් කළ නායයාම් අවදානම් ආකෘතිය සැකසීම මගින් නායයාම් අවදානම් කළමනාකරණය සංවර්ධනයට එක් කරලීමට අවශ්‍ය කරන ක්‍රමවේදයක් සැකසීමට බලාපොරොත්තු වේ.
භූ අවකාශ සිතියම්ගත කිරීම, ඩිජිටල් මතුපිට නිරූපකරණයේදී (DEM), ඩිජිටල් බිම් පෙදෙස් නිරූපකරණයේදී  (DTM), සමෝච්ච රේඛා ඇදීම හා නායයාම් ඇගැයීම් ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කෙරේ. ඩ්‍රෝන තාක්ෂණය භූ අවකාශ සිතියම්කරණයේ දී, සැළසුම්කරණයේ දී හා සංවර්ධනයේ දී තීරණ ගැනීමේ දි ඉතා වැදගත් වන වඩාත් නිවැරදි හා ප්‍රදේශයක් පිළිබඳව වැඩි විස්තර ලබා දෙන ආරක්ෂාකාරී හා වඩාත් ඵලදායක කාර්යයකි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ 2016 මැයි මස සිදු වූ නායයාමකින් අවතැන්වූ පවුල් 2000 ක් සමඟ හා නායයාමේ උවදුරකට ලක් වී ඇති ජනයා නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට සිදු වෙමින් පවතී. මෙකී පවුල් නැවත පදිංචි කිරීමට අවශ්‍ය තාක්ෂණ සහාය HSPTD මගින් ලබා දේ.
ස්වභාවික ආපදා හා කාලගුණික වෙනස්කම්වලට අදාළ සහයෝගිතා ව්‍යාපෘති ජාත්‍යන්තර ආයතන සමඟ එක් වී HSPTD විසින් සිදු කරයි. ශ්‍රී ලංකාවේ කාලගුණික වෙනස්කම්වල බලපෑම් හා අනුගතවීම් පිළිබඳ ප්‍රතිපත්තිවලට අදාළ පර්යේෂණ පැවැත්වීම සඳහා 2013 වසරේ ස්ථාපිත කළ HSPTD හි කාලගුණික පර්යේෂණ ඒකකය (CRU) අද වන විට බලශක්ති හා පරිසරය සඳහා වූ වැන්ඩර්බිල්ට් ආයතනය (VIEE), කෘෂිකාර්මික අනුගතවීම් පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දේශගුනික වෙනස්කම් පිළිබඳව සහයෝගිතා පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කෙරමින් පවතී.
ව්‍යාපෘති කළමනාකරණ අංශය (PMD)
ව්‍යාපෘති කළමනාකරණ අංශය (PMD) යනු ගෘහ නිර්මාණාත්මක සේවා සහ සිවිල්, විදුලි, යාන්ත්‍රික ඉංජිනේරු සේවා ප්‍රවර්ධනය කරන ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ව්‍යවහාරික ඉංජිනේරු ආයතනයයි. ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව, සේවා ඉංජිනේරු විද්‍යාව සහ විදුලි කාර්මික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වරලත් ඉංජිනේරුවරු, වරලත් ගෘහනිර්මාණ ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂක, කාර්මික නිලධාරී, සැළසුම් ශිල්පීන් සහ වෙනත් අදාළ සහායක කාර්ය මණ්ඩල සහ අර්ධ කාලීන වෘත්තිකයන් වැනි අභ්‍යන්තර වෘත්තිකයන්ගෙන් සමන්විත කාර්යක්ෂම පූර්ණකාලීන වෘත්තිමය හා කාර්මික කාර්ය මණ්ඩලයකින් ව්‍යාපෘති කළමනාකරණ අංශය සමන්විත වේ. මිනිසා විසින් ඇති කරන ආපදා අවදානම අවම කරමින් වඩාත් ආරක්ෂිත ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම්වලට අදාළව සේවාලාභී අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස උපදේශන සේවා අප ලබා දෙන්නෙමු.

-නදීශා දිල්රුක්ශි-

Comments

Popular Posts